18/05/2026
තිස් වසරක කුරිරු යුද්ධය අවසන් වී වසර 17ක්
මෑතකාලීන ලාංකීය ඉතිහාසයේ අප ලැබූ විශිෂ්ඨතම සහ ඓතිහාසිකම ජයග්‍රහණය කුමක්දැයි යමෙකු ඇසුවහොත්, ඊට දිය හැකි එකම සහ නොබිඳෙන පිළිතුර වන්නේ වසර 30ක කුරිරු බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කර රටට සැබෑ නිදහස උදාකර දීමයි.
අද අප භුක්ති විඳින මේ නිදහස්, ආරක්ෂිත වටපිටාව නිකම්ම ලැබුණු එකක් නොවේ.
එය දේශපාලන නායකත්වය, යුද උපායමාර්ගික දක්ෂතාවය සහ විරෝධාර රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයේ සාමූහික ප්‍රතිඵලයකි.
දේශපාලනික වශයෙන් අද කවුරුන් කොතැනක සිටියත්, එදා මේ මහා විජයග්‍රහණය වෙනුවෙන් එකම අරමුණක සිටිමින් රට මෙහෙයවූ නායකත්වය ඉතිහාසයෙන් මකා දැමිය නොහැක.
එවකට සේනාධිනායකයා වූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතු වූ ස්ථාවර දේශපාලන තීන්දුව සහ ජාත්‍යන්තර බලපෑම් හමුවේ නොසැලී සිටීමේ ශක්තිය මේ ජයග්‍රහණයේ පදනම විය.
ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක අංශවලට අවශ්‍ය මෙහෙයුම් පසුබිම, නවීන අවිආයුධ සහ බුද්ධි අංශ ඒකාබද්ධ කිරීමේ වගකීම විශිෂ්ට ලෙස ඉටු කළේය.
ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම භූමියෙන් මුලිනුපුටා දැමීමට යුද හමුදාව මෙහෙයවූ එවකට යුද හමුදාපති, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ සෘජු සහ නිර්භීත යුධ නායකත්වය සිහි කල යුතුමයි.
ත්‍රස්තවාදීන්ගේ මුහුදු සැපයුම් මාර්ග මුළුමනින්ම අහුරා දැමූ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදාව ඔවුන්ට හැකි උපරිමය මව්බිම වෙනුවන් ලබා දුනි.
සතුරාගේ බලකොටු ගුවනින් සිඳලූ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිලක මහතා ඇතුළු ගුවන් හමුදාවේ දායකත්වයත් නොවන්නට මේ ජයග්‍රහණය සිහිනයක් වීමට ඉඩ තිබුණි.
පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු, ඒකාබද්ධ මෙහෙයුම්වල නිරත වූ දහස් සංඛ්‍යාත රණවිරුවන්ගේ සාමූහික එකමුතුව නැමැති "ලෙයින් ලියැවුණු සූත්‍රය" නිසා මීට වසර 17කට පෙර මැයි මසක මේ රට සාපයෙන් මුදා ගැනුණි.
අද වන විට අපේ සමාජයේ ඇතැම් පිරිස්වලට වැළඳී ඇති දරුණුම රෝගය නම් දේශපාලන මතවාද නිසා ඉතිහාසයේ සත්‍යය සහ කෘතගුණභාවය අමතක කිරීමයි.
අද දේශපාලන වේදිකාවල හෝ මතවාදීමය වශයෙන් ඔවුන් එකිනෙකාට විරුද්ධ විය හැක. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. නමුත්, ඔවුන් එදා කළ ඒ ඓතිහාසික මෙහෙවර අප ඇගයිය යුතුයිමයි.
බෝම්බ බියෙන් තොරව, නිදහසේ පාරට බැසීමට, තමන්ගේ දරුවා පාසල් යවා නිවසට එනතුරු මග නොබලා සිටීමට අද අපට හැකි වී තිබෙන්නේ එදා මේ මිනිසුන් එකට එක්වී ගත් තීන්දු තීරණ නිසාය.
ජීවිතය සහ තරුණ කාලය රට වෙනුවෙන් පූජා කර, අත් පා අහිමිව අදටත් විඳවන දහස් ගණන් ආබාධිත රණවිරුවන් සහ දිවිපිදූ වීරයන්ගේ පවුල් දෙස බලා හෝ මේ නිදහසේ අගය තේරුම් ගත යුතුය.
දේශපාලන පක්ෂපාතීත්වයන් මොනවා වුවත්, රටක් විදිහට එක සෙවණකට වී නිදහසේ විවේචනය කිරීමට පවා ඉඩක් නිර්මාණය කර දුන්නේ ඒ සාමූහික කැපවීම බව අමතක කරන පුද්ගලයන් ඉතිහාසය නොදන්නා, අනාගතයක් නැති මළගිය මිනිසුන් හා සමානය.
යුද්ධයේ අඳුරු අතීතය කිසිදා අමතක නොකළ යුතුය.
එදා ඒ අසිරිමත් ජයග්‍රහණය වෙනුවෙන් උරදුන් නායකත්වයට සහ ලේ, මස්, ජීවිත පූජා කළ සියලුම රණවිරුවන්ට මුළු මහත් ජාතියේ ප්‍රණාමය සහ පින් හිමිවිය යුතුය...!
ඉතිහාසය විකෘති කළ නොහැක.
සැබෑ වීරයන් කවදත් වීරයන්මය..!
©️✍️ Kavinda B S Wijesinghe 👌👌👌