26/11/2024
බීර
.. බීර වීදුරුවක් බීපු කාලයක් මතක නෑ. වයසට ගියාම බීර බොන්ට අමාරුයි. බඩ එනවා... හැබැයි කාලයක් තිබ්බා බීර වලින්ම ජීවත් වෙච්ච. මේ ඒ ගැන අතීතානුස්මරණයක්...
.. මම හිටියා නෙව ඉගෙන ගන්ට ගිහිං බෙල්ජියම් රටේ. අවුරුදු හතක් ම. බෙල්ජියම කියන්නෙ ලෝකෙ බීර අගනුවර (The Beer Capital of the World). එහෙ තියනව තුන්සීයකට වඩා වැඩිය බීර ආසවනාගාර. මෙව්වගෙන් බීර වර්ග එක්දාස් පන්සීයකට වඩා නිශ්පාදනය කරනව. මේ හැම බීර වර්ගයකටම ඒකට අනන්‍ය වෙච්චි වීදුරුවක් තියනව. ඔය පළවෙනි පිංතූරෙ තියෙන්නෙ ඒ වගේ සමහරක්. ඒ අදාල වීදුරුවෙ දාල දුන්නෙ නැත්තං මිනිස්සුන්ට බොහොම තරහ යනව.
බෙල්ජියමෙ මිනිස්සු බීර හදන්ට පටං ගන්නෙ රෝමන් කාරයො ගෝල් දේසයට ගහන කාලෙ ඉඳං. පල්ලියෙ තමා මුලින්ම වැඩේ නැගල ගිහිං තියෙන්නෙ. ඒ හින්දා බීර වලට the drink of the Monks කියලත් කියනව. පස්සෙ පස්සෙ වෙන වෙන ආසවනාගාර පටං ගත්තත් අද වෙනකනුත් බීර හදන පල්ලි තියනව. බොහොම ප්‍රසිද්ධ Trappist කියන්නෙ එහෙම පල්ලියෙ හදන බීර වර්ගයක්.
බෙල්ජියමෙ කඩ වල වතුර වලට වඩා බීර ලාබයි. හැම නගරයකම වගේ ඒ නගරෙට ආවේණික බීර වර්ගයක් හදනව. ගොඩක් වෙලාවට ඒ නගරෙ මිනිස්සු කොහෙ ගියත් බොන්නෙ එයාලගෙ නගරෙ බීර ජාතිය. එතකොට අනික් අය දන්නව එයා කොහෙ කෙනෙක් ද කියල... ඒක ඒ මනුස්සයට බොහොම ආඩම්බරයක්. සාමාන්‍ය බෙල්ජියන් කාරයෙක් අවුරුද්දකට බීර ලීටර හැත්තෑ පහක් විතර බොනව කියල තමා කියන්නෙ. මම මුලින්ම ජීවත් උනේ හසල්ට් කියන පුංචි ගමේ. එහෙ හදන්නෙ Cristal කියන බීර වර්ගය. පස්සෙ මම ආවා ලූවන් කියන ටවුමට... එහෙ තමයි ලෝකප්‍රසිද්ධ Stella කියන බීර ජාතිය හදන්නෙ. බෙල්ජියමෙ මේ බීර සංස්කෘතිය කොච්චර අනන්‍ය ද කිව්වොත් දෙදහස් දාසය අවුරුද්දෙ යුනෙස්කෝව මේ බෙල්ජියන් බීර සංස්කෘතිය ලෝක උරුමයක් විදිහට නම් කරනවා...
.. එහෙ හැම විශ්ව විද්‍යාලයකට තියනව Student Pub එකක්. උදේ දහයට අරිනව. ඉතිං ළමයින්ට කෝපි එකක් බීලා වැඩ පටං ගන්ටත් පුලුවං, බීර වීදුරුවක් බීලා වැඩ පටං ගන්ටත් පුලුවං. අපි ඉතිං උදේ දහයෙ ඉඳං ම බීපු දවසුත් තිබ්බ. හැම සිකුරාදා හවසම වගේ කාගෙ හරි කාමරේක සෙට් වීමක් තියනව. ඒකට එන හැමෝම තමං කැමතිම බීර ජාතිය අරං එනව. හැබැයි ඒ ගේන එක අනික් අයට. ඌ බොන්ටෝනෙ අනික් අය ගෙනාපු එකක්. ඒ විදියට අපි අවුරුද්දක් විතර යද්දි බීර ජාති ඔක්කොගෙම වගේ රස බලල තිබ්බා. අප්‍රිකාවෙන් ආපු කලු මල්ලිලා ගොඩක් අය හොඳ ක්‍රිස්තියානි කාරයො. උං බිව්වෙ පල්ලියෙ හදන බීර විතරයි. ඇමරිකන් කාරයො බොන්නෙ සැර අඩු, පාට අඩු Blonde ජාතියෙ බීර. දකුණු ආසියාවෙ අපි කැමති උනේ Stout හරි Larger හරි බීර වලට. එහෙන් මෙහෙන් හිටපු අයිරිශ් කාරයෙක් බොන්නෙ තිත්ත කෝපි වගේ Brown බීර. කොහොම හරි එදා හදා ගත්තු බීර යාලුකම් තාමත් නොනැසී තියනව...
.. ලූවන් නගරෙ තිබ්බ විශ්ව විද්‍යාල ළමයින්ට තිබ්බ බොහොම අපූරු පබ් එකක්. ඒකට කිව්වෙ Pangaea කියල. Pangaea කියන්නෙ මීට අවුරුදු මිලියන තුන්සීයකට විතර ඉස්සර ලෝකෙ මහාද්වීප ඔක්කොම එකට එකතු වෙලා තියෙද්දි, ඒ සුපිරි මහාද්වීපයට කියපු නම. මේ පබ් එකත් ඉතිං ඒ වගේ... ලෝකෙ හැම පැත්තෙන්ම ආපු ළමයි එකා වගේ බීර බොන්ට එන තැන. එක තැනක ළමයි කාඩ් ගහනව... තව තැනක ටේබල් ටෙනිස්... තව කෙළවරක වට මේසයක්, උං උං ගෙ භාශාව අනික් එවුන්ට කියල දෙනව... එක මුල්ලක නයිජීරියාවෙ කොල්ලෙක් චීන කෙල්ලෙක් ව බදාගෙන... එහෙමත් නැත්තං මෙලෝ රහකට නැති එකෙක් පොතක් පෙරලගෙන... නානාප්‍රකාර වැඩ... හැබැයි හැම එකෙක් ලඟම බීර වීදුරුවක් වැරදුනේ නෑ...
.. මේ ඔක්කොම ඉතිං බීර වීදුරුවකට තියන පෙරේත කමට මතක් වෙච්ච දේවල්. මොනව කරන්ටද, ඔන්නොහෙ බීර වීදුරුවකට වයින් ටිකක් දාං බීලා නිදා ගන්නව. එහෙනං අපි ගියා ... වෙරි වේවා!